යකඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිට යකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක් පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.
කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.
මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින් නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස් නැතහොත් කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර් නැතහොත් කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්ව ටයිවින් වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ
.
තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.
අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.
---
ප.ලි.
උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :D
ප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න...