Showing posts with label පුංචි කථා [Small Stories]... Show all posts
Showing posts with label පුංචි කථා [Small Stories]... Show all posts

Thursday, July 25, 2013

ආදරණීය නොරිකො සං.

ආදරණීය නොරිකො සං,
ඔහයෝ ගොසයිමසු,

පාළුව මඟහැර ගැනීමට නොහැකිව පැය ගනන් එහෙ මෙහෙ ඇවිදීමෙන් දැණුන පිපාසය නිවා ගැනීමට මා එදා මිදොරියට ම ගියේ ඇයිදැයි මට සිතුනු වාර ‍අ‍නන්තයි අප්‍රමාණයි. තවත් කොතරම් කෝපි හල් එදා මා ඇවිද ගිය වීදිය දෙපස තිබුනා ද. මා එදා, ඒ වෙලාවේ එහි නොගියා නම් මට ඔබත් ඔබට මමත් හමු නොවන්න ඉඩ තිබුනා. එසේ වූවා නම් ඇතැම් විට අප දෙදෙනාගේ අනාගතය අද අපි මේ විඳින ජීවිතයට බෙහෙවින් වෙනස්වන්නට තිබුනා නොවේද. එසේ නම් ඔබ ඔබේ ම ලොවක් තනා සතුටින් ජීවත් වනු ඇති අතර ‍මා බොහෝ දුරට යලි පැවිදි ජීවිතයට ම ඇතුලත් වීමට බොහෝ ඉඩකඩ තිබුණී. 

එසේ නමුත් දැන් සිදුවූ දේ සිදුවී හමාරය. මුල්ම දිනයේ දී මා ඔබගේ කෝපි හලෙන් කෝපි බීමට පැමිණියා වුවත් ඉන් පසුව පැමිණි බොහෝ අවස්ථාවල මා පැමිණීයේ  කෝපි බීමටම නොව. මා සිත සසල කල ඒ සොඳුරු ජපන් යුවතිය දැකගැනීමේ ආශාව නිසාය. ඇත්තෙන්ම කිවහොත් පැමිණියා නොව මා දෙපා, ඔබ සේවය කළ කෝපි හල දෙසට, මා රැ‍ඟෙන ගියා යැයි කීවොත් එය නිවැරදි ය. එදා ඔබ හැඳ සිටි කහ පැහැති චාන් කිමෝනාවට සහ බොහෝ විට ජපන් යුවතියන්ගෙන් නොදකින ආකාරයේ හිසකෙස් සහිතව උඩට පීරා තිබීම නිසා ඔබ, මා සිතෙහි රැ‍ඳෙන්නට ඇති.

ටිකෙන් ටික අප බොහෝ හිතවත් වී, ඒ හිතවත් කම නිසා ඔබ, මා නැවති හුන් නවාතැන වෙත පැමිණීම දක්වා දුරදිග ගිය විටදී මා බොහෝ සෙයින් සතුටු වු බව ඔබට අමතක නැතුවා ඇති. දිනක් මින්දෝරියේදී ඔබ මගෙන් "දවසක් යමු ද කබුකි බලන්න" යැයි විමසූ විට මා සිතූවේ ඔබ එවෙලෙහි අපි කබුකී නැටුම් ගැන කතා කරමින් සිටි නිසා නිකමට කියූවක් බවයි. නමුත් පසු දිනෙක ඔබට විවේකය ඇති දිනයන් ද පවසා අපි දෙදෙනාම එක් වී දිනයක් වෙන්කරවා ගත්ත ද ඒ ‍මොහොත මට සිතුනේ මා සිහිනයක් දකින්නේදැයි කියා ය. ඒ දිනයන්හී ඔබ මා එතරම්ම හිතවත් වී නොතිබුනා වුවත් කිසියම් ආත්මීය බැඳීමක් නිසා මා සමඟ ඔබ කබුකි නාට්‍ය බැලීමට ගියා විම‍ට පුළුවන. කොටින්ම කියතොත් ඒ වෙද්දී ඔබ, මා සිටින්නේ කොහේද, කියාවත් දැන නොසිටියේ ය.

කබුකි බැලීමෙන් ඇරඹි අ‍ප බැහැර යාම බොහෝ දින වලට ගියේ කෝපි හල් වෙතය. ඇය සමඟ කෝපි හල් වෙත ගොස් ඒවායේ ඇති සංගීතයන්ට සවන් දීමට මා බොහෝ විට ප්‍රිය කළෙමි. එවිට අප බොහෝ ළංව ඇති බව මා සිතට දැනෙන්නට පටං ගනී. ඒ සිතුවිල්ලට මා කොතරම් ආසා කලා වුවත් ඔබ එතරම් මා සමඟ ඇවිදීමට යාමට‍ නොකැමැත්තක් දැක්වූ බව මට සිහි වේ. නමුත් ඔබ පසුව පැවසූ පරිධි එසේ කලේ අන් අය දකී යැයි බියෙන් වුවත් එ මොහොතේ දී මා සිත කෙතරම් කම්පා වූවා දැයි ඔබට කෙදිනවත් තේරුම්ගත නොහැකි වනු ඇත. ඇතැම් දිනයන්හී දී ඔබ නොපැමිණි විට මා ජීවත් වූයේ කෙසේදැයි මට දැන් සිහි කරගත් නොහැක.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස්, අප පෙරදාට වඩා ළං වුවත්, මා "තෝකියෝවේ" සිටි කාලය නිම කොට "කියොතෝ" යෑම දක්වා පැමිණි විට එහි යෑමට මා සිත සාදාගත්තේ මා වැනි පිටස්තර දේශයක මිනිසෙකු ඔබට නොගැලපෙන බැවින් ඔබට, ඔබ රටෙහිම පුද්ගලයෙකු සමඟ විවාහ වන්නට අවස්ථාව දෙමින්, මා මතකය සෙමෙන් සෙමෙන් මඟහැරීයාම සඳහා ඉඩ දීමට ය. නමුත් ඔබ නොදැක මා "කියොතෝවට" ගොස් කෙටි කලක් හෝ ජීවත් වන්නේ කෙසේදැයි සිතෙන විට මටත් නොදැනීම මා හදවත හැඬූ සැටි සිහි වන විට අද පවා මා දෙනෙතට කඳුලු උනයි. මා එසේ ඔබෙන් ඈත් වීමට ඉටා ගත්තේ ඇතැම් විට ඔබ මා මඟහරිනවා යැයි මා සිතට උපන් සැකය නිසාය. එය කොතරම් දුරට සාධාරණ දැයි මා නොදන්නාමුත් මා ඔබගෙන් දුරස් වීමට එය ප්‍රභල හේතුවක් විය. ඇතැම් විට ඔබ අන් අය සමඟ දොඩමළු වන විට මා හදේ ඇති වූ ඊෂ්‍යාව නිසා එය සිදු වූවා වීමට පුළුවන. කෙසේ නමුත් මා "තෝකියෝවෙන්" නික්ම යන්නේ ඔබට, මා සමඟ සිටිනවාට වඩා හොඳ අනාගතයක් උරුම කරදීමේ චේතනාව නිසා ය.

මා "කියෝතෝවට" ගියායින් පසුව ඔබට එතරම් ලිපි නොලීවේ එසේ කළහොත් ඔබට මාත්, මට ඔබත් අමතක කිරීමට නොහැකි වන නිසා ය. මා "කියෝතෝවේ" සිටින කාලයේදී ඔබ සේවය කරන කාර්‍යාලයේ සේවකයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබුණු බව ඔබ පැවසූ විට මා පිටතින් සතුටු වුව ද අභ්‍යන්තරයෙන් මා සිත හඬා වැටෙන්නට විය. ඒ කෙසේ නමුදු මා යළිත් ‍"තෝකියෝවට" නොපැමිණීමට අදිටන් කරගෙන සිටිය ද ඔබේ පියාගේ මරණය ආරංචි වූ විට මට නැවත ඔබ දැකීමට උපන් ආශාව මැඬපවත්වා ගැනීමට නොහැකි වූ නිසා මා යළි "තෝකියෝවට" ඒමට හිත හදාගෙන ඒ බ ව ඔබටත් ඔබ සහෝදරයාටත් ලියා දැන්වීමි.

එසේ මා නැවත පැමිණි විට ඔබ නිවසේ මා සඳහා නවාතැන් දීමට ඔබ සහ ඔබ සහෝදරයා ඉදරිපත් වීම නිසා මා සිත බෙහෙවින් ප්‍රීතියට පත් වූයේ එවිට මට නිතරම ඔබව දැකගත් හැකි නිසා ය. එහෙත් ඔබ සේවය කරන කාර්‍යාලයේ රාජකාරී බහුල බැවින් බොහෝ සිනයන්හි දී ඔබ පැමිණෙන්නේ අප නිදා ගැනීම සඳහා ගුදිරි වෙත යෑමට ආසන්න විටදී ය. ඉරිදා නිවාඩු දිනයක් වුවත් ‍බොහෝ විට ඔබ මා ඉදිරියට නොපැමිණෙන්නේ, ඔබ සිතින් මා අමතක කර සිටින නිසා දැයි මට සි‍තුනු අතර එයට බොහෝ විට බලපෑවේ කාර්‍යාලයේ ඔබට විවාහ යෝජනාවක් ගෙනා පුද්ගලයා සමඟ ඔබ විවාහ ‍වීමට ගිවිසගෙන ඇත්දැයි සිතුනු නිසා ය. තෝකියෝවට ඒමෙන් සිදු වූයේ මා චිත්ත සන්තාපය වැඩිවීම පමණි. "කියොතෝවේ" දී මා මොහොතක් වත් සැනසිල්ලේ නොසිටිය මුත් පෙනෙන මානයක ඔබ නොමැති නිසා මා සිත් වේදනාව මැඬපවත්ත්වාගෙන සිටියෙමි.

දිනක් මා "ෂිබූයා" වෙත ගොස් කාලය කා දමා පැමිණ මොහොතක් ගිමන් හැර, හිදෙජි සං හා චියෙකො සං සමඟ රෑ කෑමට සැරසෙත්ම ඔබ හදිසියේ පැමිණිි විට මා සිත සතුටින් ඉපිළ ගියේ වෙනදාට වැඩියෙන් අද ඔබව දැක ගත හැකි නිසාත් ඔබ සමඟ මොහොතක් හෝ කතා කිරීමට පුළුවන් වූ නිසාත් ය. එදා සවස අපි ගී ගැයුවෙමු. වෙනදාටත් වටා සතුටු වූයෙමු. හිදෙජි සං හා චියෙකො සං නින්දට ගිය පසුවත් ඔබත් මාත් ටික වේලා ගී ගැයූවෙමු. අවසානයේ අපද නින්දට යෑමට සැරසී ඔබ නෑම සඳහා නාන කාමරයට යත්ම මා ඔබගේ අතින් අල්ලා "මාව මරණ එක මීට වැඩිය හොඳයි. මාව මරන්න" යැයි කියූ සැටි මට හොඳහැටි මතක ය. මෙතෙක් දිනක් මා සිතේ සිර කරන් සිටි සිතුවිළි සමුදාය මා එසේ නිදහස් කලේ තවත් මට එසේ සිටිය නොහැකි නිසා ය. අනතුරුව ඔබ අත ගසා දමා, පැවසූ දෙයින් මා මුළු සිරුරම දැවී යන්නාක් මෙන් මට දැනුණී. එය සිහි වන විට මෙ මොහොතේ ද මට එසේ දැණේ.

ඔබ මෙලෙස මා ඇතුලතින් මරණයට පත් කරන්නේ නම් මා හට නැවත පැමිණෙන ලෙස දැන්වුවේ ඇයිදැයි සිතමින් මා නින්දට ගියෙමි. එහෙත් නින්ද මා අසලටවත් නොපැමිණි හෙයින් මගේ ලාච්චුව හැර, එහි තිබු මා නිදන බෙහෙත් ගුළි බෝතලය ගෙන එහි වූ බෙහෙත් ගුළි සියල්ලම ගිල මෙට්ටය මත වැතිරුණෙමි. කෙමෙන් කෙමෙන් මා නින්දට වැටුණී. 

එක දිගට දිගු ලිපියක් කියවීම ඔබට විඩා ගෙන දෙන්නක් විය හැකි නිසා මා මෙයින් නතර වෙමි. ලිපියේ ඉතුරු කොටස පසුව එවීමට පොරොන්දු වෙමි.

වතකුෂි-ඔ වසුරෙනයි දෙ කුදසයි,
මම දෙවෙන්දොරා සං,

Wednesday, December 26, 2012

ධනය ද, ප්‍රසිද්ධිය ද....?

තීතයේ දී ලංකාවේ වගේම වෙනත් රටවල් වලත් තිබුනේ රජතුමෙක් කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියක් නේ. ඒ කියන්නේ රටේ ව්‍යවස්ථාදායකයයි, විධායකයයි අරකයි මේකයි ඔක්කොම රජාගේ යටතේ තමා තියෙන්නේ. එතකොට ඉතිං රජතුමා කියන ඕනම දේකට එහෙයි කියන්න තමයි වෙන්නේ. එහෙම නැත්තං ඉතිං වෙන්නේ සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න. බැරි වෙලා හරි රජතුමා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න වෙන්නේ හොඳට හිතලා බලලා. 

Wednesday, February 16, 2011

මම හාවෙක්, මම හාවෙක්

අද ලියන්න හදන්නේ මම අහපු කථාවක්.. වැඩි වල්පල් නැතුව මම කෙලින්ම කථාවට බහින්නම්කෝ...

ගුවන් හමුදාව, නාවික හමුදාව, පාබල හමුදාව යන ඒවට අමතරව ඕනම රටක පොලීසියත් ඉන්නවනේ.. මේ කථාවෙන් කියවෙන්නේ පොලීසියේ සුපිරි වැඩක් ගැන.. මේක බලන අපේ සමහර අය නම් දන්නවත් ඇති මේ කථාව..

Monday, January 24, 2011

මම...

වෙනදා මෙන් නොව එදින මා නිවස කරා පැමිණෙන විට තරමක් රෑ බෝවී තිබුණි.. මා එන තෙක් පිල්කඩට වී සිටි අම්මා, මා එනු දැක ගේ ඇතුලට ගියා ය.. අඩවල් කර ඇර තිබූ දොරත් වසාගෙන මා කෙළින්ම ගියේ රෑට කන්න තියෙන්නේ මොනවාදැයි කියා අම්මා ගෙන් අසමිනි..

"ඔන්න වට්ටිය යට, බත් බෙදලා ඇති කන්න.."

"කෝ අම්මේ තාත්තා නිදිද..?"
වටටිය යට බෙදා තිබූ බත් පිඟාන ගෙන පුටුවක් ඈදගෙන ඉඳගන්නා ගමන් අම්මාගෙන් මා ඇසුවේ මොනවා හරි ඇසිය යුතු නිසාවෙනි..

"ඔවු.. මෙච්චර වෙලා උඹ එනකන් බලන් ඉඳලා දැන් නිදාගන්න ගියේ.. තාම නින්ද ගියේ නැතුවැති මගෙ හිතේ.."

"කෝ පොඩ්ඩිත් නිදි නේද.. අද පාඩම් කරන්නේ නෑ වගේ.."

"හිසේ ඇම්මයි කිය කිය ඉඳලා අද රෑටත් කන්නේ නැතුව ඔන්න නිදි.."

"උඹ​ මොකෝ අද කවදාවත් නැතුව ඒකි ගැන අහන්නේ.."

පුදුමයට පත් වූ දෑසින් අම්මා මා දෙස බලාගෙන ඇසුවත් මා එය නෑසුනා සේ බත් ගුලි ගිලින්ට විය.. ටික මොහොතකින් මා මනස වටා කැරකෙන සිතුවිලි දාමයක් සමඟ මා කල්පනාවට වැටිණ..

නංගීත්, මමත් පමණක් වූ අප පවුලේ විය හියදම් ගැට ගසා ගත්තේ විශ්‍රාමිකයෙකු වූ අප පියාට ලැබෙනා සොච්චම් විශ්‍රාම වැටුපෙනි.. ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිමට ඉන්නා ඇය, මට වඩා ඉගෙනීමට දක්ෂ වූවාය.. සාමාන්‍ය පෙළ විභාගය ළඟ ළඟ එන නිසා වෙනදාටත් වඩා වැඩියෙන් පාඩම් වලට නැඹුරු වූ ඇය ඇතැම් දිනයන්හී දී අළුයම වනතුරු එම කාර්යයෙහි නිරත වූවාය..

"උඹ මොකෝ බත් එක අත ගගා ඉන්නේ.. පොල් ඩිංගක් වත් ගාලා දෙන්නද පුතේ.."

"ඕනි නෑ අම්මේ.. මට ඇති.."

කියමින් මා, අම්මා වෙත දිගු කල අඩක් කා අවසන් වූ බත් පිඟාන රැගෙන කුස්සයිට ගිය ඇය පසුපස ගොස් අත සෝදා වතුර උගුරු දෙකක් බී නැවතත් මගේ කාමරයට ගොස් අඳට වැටුණි.. කුස්සියේ සිට එන ගමන් සාලයේ ඈති ඔරලෝසුව දෙස බැලු මට රෑ10.30 එහි සටහන්වී තිබූ බව මතක් විය.. මා ඈඳට ඇවිත් දැන් විනාඩි 15 ක් පමණ ඉක්ම ගොස් ඇතත් තවමත් අම්මාගේ සද්දය කුස්සිය දෙසින් ඇසිණ..

හිටිහැටියේ ඇහැරුණු මට දැණුනේ පැයක් පමණ මා හට නින්ද ගොස් ඇති බවයි.. අම්මා ද නින්දට ගොස් ඇති බව වැටහුනේ කුස්සිය දෙසින් කිසිදු සද්යක් නො ආ නිසාවෙනි.. ඇඳෙන් නැගිට ජනේලය ළඟට ගිය මා දුටුවේ සඳේ එළිය ජනේල් වීදුරුව හරාහා ඇවිත් මේසය ආලෝකමත් කර ඇති බවයි..
_____________________________________________________________________________________

දැන් වේලාව උදෑසන 8.15 වී ඇති බව ටවුම මැද වූ ඔරලෝසු කණුවේ ස​ටහන්වී තිබෙනු දුටු ම සිත ඇදී ගියේ කාමරයේ මේසය මත වූ කුඩා කොල කැබැල්ල වෙතටය..

"අම්මේ, මං ගැන හොයන්න එපා නංගිට හොඳට උගන්වන්න.."

පෙරදින රාත්‍රියේ මා එහි ලියූ බව සිහි විය..



ප.ලි - බ්ලොග් සතිය වෙනුවෙන්ලියන ලදී... (මා අත්දැකීම් ලත් ලේකකයෙකු නොවේ.. මේ මගේ මුල්ම කථාවයි..)