Tuesday, July 19, 2016

මල් සිනා උදා වුනා ලස්සනයි වගේ

සෙනසුරාදා දවසෙම පන්තියේ ඉඳලා ඇවිත් නාලා කාලා ඉවර කරලා නිදාගන්න ඇඳේ හාන්සි වෙලා ජංගම දුක අතට ගත්තේ රේඩියෝව දාගෙන හෙඩ්ෆෝන් එක ගහගෙන (හොඳ නැති දෙයක් තමා. ඒත් සමහර දවසට මම එහෙම කරනවා :D ) නෝමල් සිංදුවක් අහගෙන පොඩි මනෝ පාරක් දාගෙනම නිදාගන්න හිතාගෙන. 

වෙලාව 8.40 විතර ඇති මතක විදියට. රේඩියෝව ඕන් කරගෙන මට හරියන එකක් සෙට් වෙනකන් චැනල් ටික එහෙට මෙහෙට මාරු කර කර ඉන්නකොට චැනල් එකක සාකච්චාවක් ඇහුන නිසා ඒක අහන්න ගත්තා. කැළුම් ශ්‍රීමාල් මහත්මයයි දිලීප අබේසේකර මහත්මයයි තමයි සාකච්චාව කරගෙන ගියේ. 

බොහොම දුර්ලභ ගනයේ ශිල්පියෙකුගේ ගීතයක් ඊළඟට දෙන්න තමා දෙන්නා කතා කර කර හිටියේ. මට මතක හැටියට ඒ දෙන්නා කිවුවේ නං මේ ශිල්පියා ගායනා කරලා තියෙන්නේ ගීත දෙකක් හෝ තුනක් කියලා. ශිල්පියා තමයි "එස් ආර් ජයරත්න" කියලා මහත්මයෙක්. ගීතය තමයි "මල් හිනා උදා වුනා" කියලා ඉතාමත් සරළ ඉතාමත් ලස්සන ගීතයක්. මේ වගේ වැඩසටහන් වල යන ගීත රෙකෝඩ් කරගන්න සෙට් වෙලා ඉන්න නිසා මම මේ ගීතයත් රෙකෝඩ් කරගත්තා. ගීතය ගැන වැඩි විස්තරයක් නිවේදක දෙපල දන්නෙත් නැති නිසා එයාලා විවෘත ආරාධනාවක් කලා දන්න අය ඉන්නවා නං විස්තර එවන්න කියලා.

පස්සේ ගීතයේ විස්තර දැනගන්න කියලා ලකිඳු කියලා මගේ මිත්‍රයෙකුගෙන් ඇහුවම කිවුවේ තනුව "හේමන්ත කුමාර්" කියන ශිල්පියාගේ හින්දි තනුවක් කියලා. තවත් විශේෂ දෙයක් දැනගත්තා ඒ තමයි ගායකයාගේ නම "එස් ආර් ජයරත්න" නෙවෙයි "එච් ආර් ජයරත්න" කියලා. ගොඩක් තැන්වල නම වරද්දලා ලු තියෙන්නේ. මේක කියවන අය නං ඉස්සරහට ඒ වැරද්ද කරන එකක් නෑ ලකිඳු නිසා.


http://www.mtv.com/news/2724250/crystal-reed-teen-wolf-return/

මල් සිනා උදා වුනා ලස්සනයි වගේ
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

පාවි පාවි රන් වලා වහා ඇදේ
සීත රෑක ආදරේ සොයා සඳේ...
ඒ වගේම චේතනා මා හිතේ තියේ
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

නීල දෑස කීව රහස තේරුණා
ආදරේට ආදරේම යාවුනා
ඒ උතුම් අනාගතේ කාලේ වාසනා
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

හරි එහෙම නම් අහලා බලන්න ගීතය. සමහර විට දැනටමත් දන්න අය ඇති.

ආ අමතක වුනා චැනල් එකේ නම තමා "FM දෙරණ". ප්‍රෝග්‍රෑම් එකේ නම "අනන්ත ගී රස"

තිස්ස අයියත් බොහොම කාලෙකට කලිං මේ ගීතය ජාලගත කරලා තියෙනවා.