Friday, August 29, 2014

ගහේ කටු

ස්සර කාලේ බොහෝ අය රැකියාව විදියට කලේ තම පියාගෙන් උරුම වෙච්ච දේ. ඒ හේතුව නිසාම තමයි ඒ කාලේ කුල ගෝත්‍ර බිහි වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් අපිට උරුම වුන මේ ක්‍රමය අඩු වැඩි වශයෙන් අදත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ක්ෂේත්‍ර වල දකින්න අහන්න ලැබෙනවා.

රාජ්‍යත්ත්වයට පත්වීමේ ඉඳලා කසල ශෝධක කෙනෙක් දක්වා ඔවුන් බිහි වෙන්නේ තමන්ගේ වැඩැහිටි පරම්පරාව එම ක්ෂේත්‍රයේ නියැළිලා සිටිය නිසා. වර්තමානය වන විට ලංකාවේ රජ කෙනෙකු මූලික වුන පාලන ක්‍රමයක් නොතිබුනත් බොහෝ විට දේශපාලනය කියන විශයට එකතු වන නවකයන් වුනත් ඔවුන් පිවිසෙන්නේ තම පියා හෝ මව හෝ එම කාර්යයෙහි නියැලිලා සිටින නිසා. එහෙම නැතුව අලුතෙන්ම පිවිසෙන අය ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.

යම කෙනෙකු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකයෙක් වශයෙන් රාජකාරී කරන ලද අවස්ථාවක ඔහුගේ ඉවත්වීමෙන් පසුව තම පුතා හට එම රැකියාව උරුම වීමේ නෛතික තත්ත්වයක් ඉස්සර තිබුන වගේ මට මතකයි. සමහර විට වර්තමානය වන විට ඒවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්.

බටහිර වෛද්‍ය වෘත්තිය සලකා බැලීමේදී ඔවුන් බිහි වන්නේ මේ ක්‍රමයට නොවුනත් පැරණි සිංහල වෛද්‍ය වරු ගැන සලකලා බැලුවම අපිට දැකගන්න පුළුවන් එම වෘත්තියේ නියැලිලා ති‍යෙන්නේ එක්තරා පරම්පරා කිහිපයක අය පමණක් බව.

වර්තමානය වන විට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල මේ පිය පුතු සම්භන්ධතාවය බොහෝ ලෙස දක්නට ලැබෙන්නවා. එහි ප්‍රථිපලයක් විදියට ඇතැම් පැරණි ගීත යම් යම් නවතාවයන් සමඟ නැවත නැවත අහන්න ලැබෙන අවස්ථා බොහෝ ඇති අතර එම ගීත වලට අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනු දක්නට ලැබෙනවා.

මිල්ටන් පෙරේරා - ප්‍රියංකර / චලක, මිල්ටන් මල්ලවාරච්චි - රනිල් / තාරක, මායා දමයන්ති - කුෂාණි, ටී.එම් ජයරත්න - ඉසුරු, මර්වින් පෙරේරා - අමල් වගේ එකී මෙකී නොකී බොහෝ අය ඉන්නවා අද වනවිට මේ ක්ෂේත්‍රයට පිවිසුන. මෑත කාලයේ ඉඳලා වගේ වික්ටර් රත්නායකයන්ගේ පුතා වෙන ජයන්ත රත්නායකත් තම පියාගේ ගීත ගායනය කරන අවස්ථා දකින්න ලැබෙනවා.

මේ විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසලා තියෙන මේ අය බොහෝ විට පිරිමි කෙනෙක් නම් තම පියා ද ගැහැණු කෙනෙක් නම තම මව ද සංගීත ක්ෂේත්‍රෙය් නියැළී සිටි අය. නමුත් මම මේ ළඟදි දවසක දුටු දේ තමා මේ ක්‍රමයේ පොඩි වෙනසක් වෙලා අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පියෙක්ගේ ගීත ඔහුගේ දියණිය විසින් ගායනා කරන ලබන අවස්ථාවක්. ඒ තමා සුනිල් එදිරිසිංහ මහතා සහ ඔහුගේ දියණිය සංඛනී එදිරිසිංහ.

මේ පහලින් තියෙන්නේ ඒ විඩියෝ එක. අහලම බලන්නකෝ. ඇහුවම තේරේවි ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මොකද කියලා...


Sunday, May 11, 2014

සුභ ගමන් ජනිතා....!

2010 වසරේ අවසාන කාලය කියන්නේ මම ගූගල් බස් වලට සෙට් වෙච්ච මුල් කාලය වගේ තමා මට මතක. එතනට යද්දී අඳුරගෙන හිටියේ දෙතුන් දෙනෙක් නිසා කස්ටිය අඳුරගන්නම සෑහෙන්න කාලයක් ගියා. හැබැයි ඒ අඳුරගත්ත ඇඳුරුම්කම අද වෙනකන්ම තියෙනවා. [එහෙම නැති අයත් නැත්තෙම නෑ.]

ඒ කාලේ හිටියේ ගෙදරම නිසා කොයි වෙලෙත් කොම්පියුටර් එක දාගෙන ලවක් දෙවක් නැතුව බස් එකට වෙලා අනිත් අය එක්ක වල් පල් කතා කර කර තමයි කාලය නාස්ති කලේ. කාලය නාස්ති කලත් ඒ කාලේ අපරාදේ කියන්න බෑ හොඳ යාලුවෝ ටිකක් හම්බුනා. [ඊට පස්සෙත් නැත්තෙ නෑ.] ඒ හම්බුන අය එකිනෙකාට වෙනස්  ‍ක්ෂේත්‍ර වල නිසා බොහොම උදවු ගන්න පුළුවන් වුනා. ඒ බොහෝමයක් ඒවා ඔන්ලයින් උදවු තමා ඉතිං. [අදටත් එහෙමයි.]

ඔහොම කාලයක් බස් පැද පැද ඉන්න අතරේ තමා අපේ ඉලංදාරියා අසනීප වුන නිසා ඒ වෙනුවෙන් අපි ඉලං ට උදවු කරන්න පෙල ගැහුනත් නොහිතපු විදියට අපි දාලා යන්න ගියා. මම ආශ්‍රය කරපු යාලුවන්ගෙන් අවසන් ගමන් ගිය පළවෙනියා ඉලං නිසා ගොඩක් හිතට දැනුනා මට ඒ සිද්දිය. ඒ සිදුවීම වුනේ 2011 අවුරුද්දේ මැයි මාසේ. ඊට අවුරුද්දකට පස්සේ අපි කාගෙත් හිත දිනාගෙන හිටපු ඔබා මාමා හෘදයාබාධයක් නිසා අපෙන් සමුගෙන ගියේ 2012 අවුරුද්දේ මැයි මාසේ. 

දැං මේ ගතවෙන්නේ 2014 අවුරුද්දේ මැයි මාසය. මේ අවුරුද්දෙත් මැයි මාසේ පටං ගනිද්දී හම්බුනේ දුක්මුසු ආරං‍චියක්. ඒ අපේ බස් හිතවතියක් වන ජනිතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ජයවර්ධන පුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ස්වාභාවිකව ස්වසවය සිදු කල නොහැකි නිසා කෘත්‍රීමව ස්වසනාධාර ලබා දෙන බවත් ය. ඩුබායි සේවය කල ජනිතා එහේදී ආහාර විශවීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් ඒ නිසා ප්‍රතිකාර සඳහා ලංකාවට ගෙන්වාගත් බවත් ජනිතාගේ මව සමඟ මුහුණු පොතේ කල සංවාදයකදී එතුමිය කියා සිටියා.

හැකියාවක් ඇති නං රෝහලට පැමිණ ජනිතා බලා යන මෙන් එතුමිය කියා සිටියත් දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියෙක් බැලීමට යාම එම රෝගියාට සිදුවන හිරිහැරයක් නිසා අප කතා කරගත්තේ ඇයගේ රෝගී තත්ත්වය සුව වී රෝහලෙන් පිටවූ පසු නිවසට ගොස් ඇයගේ දුක සැප බලා එමු යි කියා ය.

ඒත්........................

ඒත් නොසිතූ අයුරින් ඇයත් අප හැර යන්න ගොසින්. ඇයත් අපෙන් සමු අරන් ගියේ අනෙක් දෙන්නා වගේම මැයි මාසයේ වීම අහම්බයක් ද...? 

මතු උපදින කිසිම අත්භවයක මෙවැනි උවදුරක් සිදු නොවෙන්නට මෙම ආත්මයේ දීම ඇයට නිවන් සුව ලැබේවා.....!
‍ 
ජනිතා ඇගේ මව සමඟ

ප.ලි - දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි