Sunday, March 17, 2013

ඔබ පෙම් කරනා, ඔබේ කුමාරී..

සාමාන්‍යෙයන් මම රෑට නිදාගන්න යද්දී නෙට් එක දාන්නේ පුරුද්දකට මිසක් මදුරුවෝ ඉන්න නිසාම නෙවෙයි, ඒකට පුරුදු වෙලා නිසා. ඒ නිසාම ගෙදරින් පිට කොහේ ගියත් නෙට් එකක් තිබුනොත් ඒක දාගෙනම තමා නිදා ගන්නේ.

හැබැයි ඉතිං මේ දවස් වල තියෙන අධික රස්නය නිසා නෙට් එක දාගෙන තියා ෆෑන් දාගෙනවත් නිදාගන්න බෑ. ඒ තරමට රස්නෙයි. අනිත් එක ෆෑන් එක දාගෙන නිදාගත්තා කියලා රස්නය අඩුවීමක් වෙන්නේ නෑ. තව වැඩි වෙනවා මිසක්. මොක ද ෆෑන් එක දැම්මම වෙන්නේ ඇතුලේ තියෙන වාතය කරකැවෙන එක විතරක් නිසා. ඇතුලේ තියෙන්නේ රත් වෙලා කර වෙච්ච වාතය නිසා ෆෑන් එක දැම්මා කියලා අලුත් සිසිලසක් එන්නේ නෑ.

පුරුද්දට වෙච්ච දේ ඊයේ රෑ කලේ නැත්තේ රස්නේ නිසා මිසක් අමතක වෙලා නෙවෙයි. මදුරුවෝ හිටියත් මේ ඉවන්න බැරි රස්නේ නිසා නෙට් එක නොදමා ෆෑන් එක විතරක් දාගෙන නිදාගත්තේ හදිසි අවස්ථාවක් ආවොත් නෙට් එක දාගන්නව කියලා හිතාගෙන. එහෙම හිතගෙන නිදාගත්ත නිසාම ද මන්දා වැඩි වෙලා ඉන්න හම්බ වුනේ නෑ නෙට් එක නොදමා.

මදුරුවෙක් දෙන්නෙක් ඇවිත් කැරකෙන්න ගත්තා, ඒ විතරක් නම් මදැයි කන ගාවටම ඇවිත් රහසින් සිංදු කියන කොට තමා ඉවසන්න බැරි. වැඩේ එන්න එන්නම බරපතල තත්ත්වෙට පත්වෙන්න ගත්තත් නෙට් එක දාන්න නැගිටින්න කම්මැළිකමේ එහෙමම හිටියේ “තව එකෙක් ආවොත් නම් අනිවා නෙට් එක දාගන්නවා“ කියලා හිතාගෙන. එහෙම හිතලා අනිත්පැත්ත හැරෙනකොටම එකෙක් කොඳුරන්න ගත්තා කනට ළං වෙලා. බලං ඉඳලා හරියන්නේ නැති නිසා අන්තිමට නිදිමරගාතේ නෙට් එක දාගත්තා.

ඔහොම නිදාගන්න අතරේ මම කල්පනා කලා ඇයි මේ මදුරුවෝ කන ළඟටම කරලා “කූං කූං“ ගාන්නේ කියලා.  එතකොට තමා මට මීටර් වුනේ මොකක්ද සීන් එක කියලා.

“ඉස්සරකාලේ මදුරුවෝත් කරාබු දාලා ඉඳලා තියෙන්නේ. මොනයම් හෝ හේතුවක් නිසා උං දැං කරාබු දාන්නේ නෑ. ඒක නිසා උං අපේ කනට කොඳුරලා කියන්නේ ‘උඹලා දැං ඔය දාගෙන ඉන්න කරාබු ඉස්සර දැම්මේ අපි‘ කියලා. හැබැයි උං හිතං ඉන්නේ මනුස්සයෝ හැමෝම කරාබු දානවා කියලා. උං දන්නේ නැතුවැති කරාබු දාන්නේ කාන්තා පාර්ශවය විතරයි කියලා.“

මදුරුවෝ විතරක් නොවයි අපි වුනත්, කලිං අපිට අයිති වෙලා තිබුන දෙයක් දැං වෙන කාට හරි අයිති නම් අපිත් බෙහෝ දුරට ඒ කෙනාට කිට්ටු කරලා කියනවා ඕක කලිං මට අයිති වෙලා තිබුනේ කියලා. අහලා බලන්න මේ සිංදුවෙනුත් කියන්නේ එහෙම දෙයක් නේද කියලා.

http://wikumopatha.blogspot.com/2010/07/gunadasa-kapuge.html

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරවනා සඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක ම තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ ළඟට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

ගායනය - ගුණදාස කපුගේ
ගී පද - සුනිස් ආර්. ගමගේ
Mp3 - Oba Pem Karana