Tuesday, May 21, 2013

පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ...

යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා නිරායාසයෙන්ම යොමුවන්නේ 70, 80 සහ 90 දශකයන්ගේ ‍ගීතයන් කෙරෙහි ය. එම ගීතයන් වල ඇති අර්ථාන්විත භාවය සහ ළබැඳි සංගීතය නිසා අපගේ මනස ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වනු ඇත.

එබඳු ළයාන්විත ගීත කොතැනදී ඇසුවත් මතකයේ රැ‍ඳෙන්නේ ඇතැම් විට අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට එම ගීතයන්හී යම් සම්භන්ධතාවක් ඇති නිසා යැයි විටෙක සිතෙන අතර, ඇතැම් ගීත කොතරම් ශ්‍රවණය කල ද තවත් වරක් හෝ ශ්‍රවණය කිරීමට සිතේ.

පුරුද්දක් ලෙස, රාත්‍රි නින්ද සඳහා ඇඳට ගොස් ප්‍රථමයෙන් සිදු කරනුයේ ජංගම දුරකථනය ගෙන එහි කන් බනුව (Ear Phone) සම්භන්ධ කර දුරකථනයෙන් ගුවන්විදුළියට සවන් දීමයි. මා සවන් දෙනු ලබන්නේ රන් එෆ්.එම්., සිටි එෆ්.එම්., ලක්හඬ සහ ලක් එෆ්.එම් වැනි ගුවන්විදුළි නාළිකාවන්ට ය.බොහෝවිට මා නින්දට යන්නේ රාත්‍රී 8.00 - 10.00 අතර තුර කාලයේ නිසා එම වෙලාන්ට ගුවන්ගත වන වැඩසටහන් වලට සවන්දීමට මා ප්‍රියතාවයක් දක්වනු ලැබේ.


රන් එෆ්.එම්. - රුවන් සඳැල්ල, සිටි එෆ්.එම්. - ආරාධනා, ලක්හඬ - ප්‍රේම තටාකය හා ලක් එෆ්.එම්. - ප්‍රේමණීය රාත්‍රිය මේ වෙලාවන්හිදී ගුවන්ගත වන වැඩසටහන් වේ. මෙම වැඩසටහන් අතුරින් රන් එෆ්.එම්. හි රුවන් සඳැල්ලට මා බොහෝ ඇලුම් කරන්නේ එහි වැඩසටහන ඉදිරිපත් කරන  පුද්ගලයාගේ කෙටි විචාරයන්ට ඇති කැමැත්ත යැයි කිවුහොත් එහි වරදක් නොවේ. මන්ද ඔහු ඇතැම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරන ඉතා කෙටි කතාවන් ඉතාමත් අලංකාර බව වරක් හෝ මෙම වැඩසටහන ඇසූ අයෙක් දන්නා අතර නොඇසූ කෙනෙකුට මා ඇරයුම් කර සිටින්නේ වරක් හෝ එය ශ්‍රවණය කරන මෙන් ය.

මේ අතර තුර දහවල් කාලයේදී මා ඇතැම් විට යූටියුබය හරහා පැරණි, එතරම් ප්‍රචාරය නොවන ගීත ශ්‍රවණය කරන අතර ඇතැම් බ්ලොග් අඩවි වල ඇති ගීත ද බොහෝ විට ශ්‍රවණය කරන්නේ ඒවායේ ඇති රමණීය බව නිසා ය.

මෙසේ අද දින බ්ලොග් කියවද්දී ඇස ගැටුනු එක්තරා බ්ලොග් අඩවියක තිබූ ගීතයකට මාගේ සිත ඇදී ගිය අතර එහි ලියා තිබූ කෙටි විචාරය ද ඉතා අනර්ඝ එකක් ලෙස දැක්විය හැකිය. මේ ගීතය කොතරම් මගේ සිතට  ඇතුල් වුනාදැයි කිවහොත් ඇතැම් විටෙක මා සිතට නැඟුනේ මේ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව දෝ කියා ය. ඒ තරමට ඒ ගීතයට මා ප්‍රිය කරන්නට විය. එය දුටු මොහොතේ පටන් කිහිප වතාවක්ම එය ශ්‍රවණය කල අතර කොතරම් වාර ගණනාවක් එය ශ්‍රවණය කලාදැයි මා සිහියට නොනැ‍ඟේ. මේ මොහොතේ ද ශ්‍රවණය කරමින් සිටී.

එම බ්ලොග් අඩවියට යන මාර්ගය මෙසේ වේ [200]දයාබර මාලතී

එම ගීතයේ පද මාලාව නම්....

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා 
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත 
දෙදරුවන් ලඟ නිවන සරතැස 
කාලයේ වැලිතලාවේ 
සබඳකම් සැඟවුනාවේ..

අතරමග සුණු විසුණු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ...