Friday, May 10, 2013

කල්පනා ලොව මල්වනේ සිහින රජ දහනේ...


මම ඉස්සර ඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනා ලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනා කළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්න ඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්. 

පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙ යන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස් කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම් සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්ක එහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත් ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං.

එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ල‍ගේ උපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපි තුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාට තාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි “ආදරය” කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක් හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලු ලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත් සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්, අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහර වෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාද කියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන් තමා හිටියේ. පනින් පෙර හිතා‍ බැලුවෙම නෑ ඒ කාලෙ නම්. 

ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොට ආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝ ගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත, කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝ ගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනා වෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑ නේද කියලා... :D

ඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මක අවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන් වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණ වගේ නානාප්‍රකාර දේවල්.

සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්න ගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාව නැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේ ඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තං එතනින් මේ ලෝකේ නවතිනවා.

සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙන ඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙන නැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරි කලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ....