Sunday, November 25, 2012

අන්තිමේ දී ගොඩනැගිල්ලක් දිනුවෙමු..

පේ පාසල් අධ්‍යාපන රටාව තුලදී සාමාන්‍ය පෙළ දක්වා අපි ඉගනගන්නේ අපි කැමති වුනත් නැති වුනත් අපිට බලෙන් උගන්නන දේවල් කියලා මම කිවුවොත් ඒක හරි වෙන්න ඕන. මොකද සාමාන්‍ය පෙළ විභාගය වෙනකන් තියෙන සමහර විශයන් වලට අපි අකමැති වුනත් අපිට ඉගනගන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි අපි කැමති සමහර විශයන් සා/පෙළ අධ්‍යාපන රාමුවට ඇතුලත් නැති අවස්ථාත් තියෙනවා.

ජීවිත කාලයේදී මුහණ දෙන විභාගයකදී එකවර විශාල විශයන් සංඛ්‍යාවකට මුහුණ දුන් සා/පෙළ විභාගය සමත් වුනාට පස්සේ තමයි අපේ ජීවිත වලදී අපි කැමති පාරේ යන්න පුළුවන් වෙන උසස් පෙළ අධ්‍යාපනය ලබන්න පටං ගන්නේ. අපි හැමෝගෙම වගේ ජීවිත වල විශේෂ කඩයිමක් තමයි උසස් පෙළට හැදෑරීමට තෝරගන්න විශය ධාරාව. මොකද අපේ ජීවිත වල ඉදිරි කාලය රඳා පවතින්නේ අපි තෝරගන්න අංශය අනුව.

සා/පෙළ කාලේ ඉඳලා ගිණුම්කරණයට තිබුනු රුචිකත්ත්වය නිසා මම උසස් පෙළ සඳහා තෝරගත්තේ වාණීජ්‍ය විශය ධාරාව. හැබැයි ව්‍යාපාරිකයෙක් වීමට නම් පොඩි හෝ කැමැත්තක් එදා තිබුනෙත් නෑ, අදත් නෑ, හෙටත් එහෙම ආසාවක් ඇති වෙන එකක් නෑ.

ඒ කොහොම වුනත් පළවෙනි සැරේට මුහුණ දුන් උ/පෙළ විභාගයෙන් ඒ හැටි සාර්ථක වෙන්න බැරි වුන නිසා 2005 අවුරුද්දේ දෙවෙනි සැරේටත් මූහුණ දීලා සතුටු දායක ප්‍රථිපලයක් ලබාගත්තත්, විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්න තරම් මගේ ප්‍රථිපල සෑහෙන්නේ නැති නිසා විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබන්න සුදුසු ආයතනයක් සොයමින් ඉන්නකාලේ මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලවක් හැදෑරුවේ, මගේ ජීවිතයේ අරමුණ වුනේ ඒ අංශයෙන් ඉදිරියට යෑම නෙවෙයි වුනත් පරිගනක දැණුම වර්ථමානය වන විට සෑම කාර්‍යකටම අත්‍යාවශ්‍ය නිසා.

වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාව හදාරලා ඉවර ‍වෙලා ඉන්න අතරේ හදිසියේ වගේ රැකියා පියස ආයතනය‍ට ‍සම්භන්ධ වෙලා, පුහුණුවන්නෙක් විදියට ඒකේ වැඩ කරන්න පටං ගත්තා. ටික කාලයක් එතන වැඩ කරලා ඊට පස්සේ එතනින් අයින් වෙලා ගෙදර ඉන්න කාලේ හදිසියේ වගේ පත්තරේ දැකපු දැන්වීමකට මගේ හිත ගියේ මම හොයපු දේ එතන තියෙන නිසා.

ඒ දැන්වීමේ තිබුනේ "උසස් අධ්‍යාපන අමාත්‍යංශය" යටතේ තියෙන "ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනයේ [SLIATE]" නව වසර සඳහා ඒ කියන්නේ 2007 වසර සඳහා අලුතින් සිසුන් ලියාපදිංචි කරන බව. ගිණුම්කරණයට තිබුන ඇල්ම නිසා ඒ දැන්වීමේ තිබුන "උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා [HNDA]" පාඨමාලාවට ඉල්ලුම්පතක් දාලා 2007 පෙබරවාරි විතර වෙද්දී පංති පටං ගත්තා. 

ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනයේ ශාඛාවක් තංගල්ල ප්‍රදේශයේ නැති නිසා අධ්‍යාපන කටයුතු පටං ගත්තේ "කාර්මික අධ්‍යාපන අමාත්‍යයංශය" යටතේ පවත්වාගෙන යන බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ. නමුත් අමාත්‍යංශ අතරේ පැවතුනු සීතල යුද්ධයක ප්‍රථිපලයක් විදියට අපිට බෙලියත්ත කාර්මික විද්‍යාලයෙන් එළියට යන්න සිද්ධ වුනේ පළමු වසර, දෙවන වසර [අපි] හා තෙවන වසර වල 125ක පමණ ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබමින් සිටිත්දී. 

ඒ වෙද්දී අපිට වුන අසාධාරණය අප ආයතන්යේ [SLIATE] ඉහළ නිළධාරීන්ට ඉදිරිපත් කල පසුව ඔවුන්ගේ පිළිතුර වූයේ ඒ වෙද්දී ළඟම ශාඛාව වුන ගාල්ල ආයතනයට අපව අනියුක්ත කරන බවයි.  කෙසේ නමුත් අපි ශිෂ්‍යයන් එක හඬින් කියා සිටියේ "ගාල්ල ප්‍රදේශය දුර වැඩි නිසා තංගල්ල කේන්ද්‍ර කරගෙන අපට ස්ථානයක් ලබා දෙන ලෙසයි" නමුත් ඒ සඳහා ඔවුන් කන් නොදුන් නිසා අප සිසුවෙක් යෝජනා කලේ "සිරස විමර්ශන" වලට කියමු, කියා ය. ඒ අනුව සිරස විමර්ශණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප හට සුභදායී පිළිතුරුක් ලැබුන අතර, තංගල්ල මහා විද්‍යාලයේ පංති පවත්ත්වාගෙන යාමට අවසර ලැබුනි. සති අන්ත පාඨමාලාව පමණක් තිබූ නිසා ඒ ලැබුන උත්තරෙන් අපි සෑහෙන්න සතුටු වුනේ අප සිසුන් එකතු වීම නිසා අපිට සාධාරණයක් ඉටු වූ නිසාය.  ඒ සඳහා සිරස ආයතනය අපට සිදු කල ඒ උපකාරය අප සියළු දෙනාට අමතක කළ නොහැකි තරමට සුවිශේෂී වන්නේ එසේ නොවුනා නම් එදා අපිට පාඨමාලාව මඟදී නැවැත්වීමට සිදු වන නිසා ය. ඒ නිසා සිරස ආයතනයට නැවත වරක් ස්තූති වේවා..

පංති පැවැත්වීමට තංගල්ල මහා විද්‍යාලයේ සම්පත් ලැබුනද විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු නොවුනාම නෙවෙයි. සමාසිකයක් අවසානයේ පවත්වන විභාග සති අන්ත දිනයන්හී පමණක් නොව සතියේ දිනවලද පැවැත්වෙන නිසා විභාග පැවැත්වීමට ස්ථානයක් නොමැති වීම ඊළඟ දුෂ්කරතාවය විය. නමුත් තංගල්ල කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ කාරුණික බව නිසා අප හට ඒ ප්‍රශ්නයද විසඳාගත හැකි විය. ඇතැම් විට අතිරේක පංතියක් යොදාගැනීමට අවශ්‍ය වූ විට ස්ථානයක් නොමැති නිසා පංසල් වල, ගස් යට පවා අප රැස් වූයේ කෙසේ හෝ මෙම පාඨමාලාව සම්පූර්ණ කර අරමුණ සාක්ෂාත් කරගැනීම අපයේ එකම අභිප්‍රා‍ය වූ නිසාවෙනි.

කෙසේ හෝ විවිධ දුෂ්කරතා මධ්‍යයේ හැදෑරූ මෙම පාඨමාලාවේ මගේ අවසන් ප්‍රථිඵල ලැබී මා ලද ඒ ප්‍රීතිය තිබෙද්දීම එය දෙගුණ තෙගුණ වුනේ තංගල්ල ප්‍රදේශයට ලබා දුන් ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආටතනයේ නව ශාඛාව ලබන මස විවෘත වන බව ලද ඔත්තුව නිසා ය.

පහත දැක්වෙන්නේ මා දුටු ඒ දැන්වීමයි.


මෙම දැන්වීම දුටු සැනෙන් ලද සතුට අතරින් පොඩි දුකක් ඇති වුනේ මේ හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් උත්සාහ දරණ නිසාවෙනි. ඒ බව මේ දැන්වීම දක්නා ඔබටත් නොවැටහෙනු ඇතැයි සිතේ. 

ඒ කෙසේ වෙතත් අප ප්‍රදේශයට බලවත් අවශ්‍යතාවක් ව තිබුනු මෙය කල් ගතවී හෝ ලැබීම මා බොහෝ සතුටු වන අතර, ඒ සඳහා මූලිකත්ත්ව ගත් අය හට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එසේම එදා 2008 වසරේ දී අපට උපකාර වූ සිරස ආයතනයට නැවතත් වාරයක් කෘතඥ පූර්වක ස්තූතිය පුද කරන අතර එදා ප‍ටන් අද වන තුරා විවිධ භාධක මැද තංගල්ලේ දී පාඨමාලාව හදාරන සහ සම්පූර්ණ කල සියළු සිසු මිතුරන්ට ද ස්තූතිවන්ත ‍වෙමි.

නව ගොඩනැගිලි පරිශ්‍රය තුල HNDA පාඨමාලාවට අමතරව තවත් පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීමට යෝජිත අතර ඉදිරියේ දී ඒ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..

17 comments:

  1. මොන දේ කොහේ කරත් මම සුභ පතනවා ඔයා සිතන පතන දේවල් සාර්ථක වෙන්න කියලා සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. වෘර්තිය පුහුණු මද්‍යස්තානයේ වෙබ් සයිට් එක අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ දැනට අවුරුදු එකාමරකට කලින් ඉතින් කොහොමද අපි රාජ්‍ය අංශයේ දෙයක් විශ්වාස කරන්නේ?

      Delete
    2. ඒක හරි බං. මමත් ඕක බලන්න ගත්ත දවසේ ඉඳන් ඔය විදියට තියෙන්නේ.

      Delete
  2. දේශපාලන වාසියක් ගත්තත් වැඩක් කෙරිල තියනවනේ මලයා. ඉතින් ඒකට ඇයි නෝක්කඩු.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. මම නෝක්කාඩු කිවුවෙ නෑ නොවෑ අයියන්ඩී...

      Delete
  3. මම හිතන්නේ ලොකයේ සාක්ෂරතාවය අතින් ඉහල තැනක් ලංකාවට තියෙනවා. ඒක තවත් ඔප් නංවන්න රජය මේ වගේ කටයුතු කිරීම අගය කරන්න පුලුවන් ලැම්බෝගිනි ගැන මොන මොන කතා කීවත්...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත. ඔයා කියන දේ හරි..

      Delete
  4. කපිල පෙරේරා හා රත්නායක මහාචාර්‍ය වරුන්ගේ මුහුණු දකින්නට ඇත්තේ ඔවුන්ද මෙයට යම් හෙයකින් හෝ දායකත්වයක් දරන්නට ඇති නිසාවෙන් යැයි සිතමි - එසේනම් වැඩේ අවුල් වන්නට ඇති ඉඩ අඩුමය - ඔවුන් යහපත් උදවියයි

    පොඩි පොඩි හුටපටවල් වලටත් ඔතන දේපල අලාභහානි නොකර යමක් ඉගෙන ගෙන ඊලඟ පරම්පරාවටත් ඉතිරි කරන එක ඉතින් ලමයි අතේ තමා

    ReplyDelete
    Replies
    1. කපිල පෙරේරා කියන්නේ අපේ අලුත් DG. එතුමා ආවෙ අලුතින් නිස වැඩි විස්තරයක් දන්නෙ නෑ. කලින් හිටියෙ වෙන කෙනෙක්. එතුමා නම් තංගල්ලේ අයගේ නම් පවා දන්නවා. :-D හැබැයි අනිත් මහාචාර්‍ය තුමා නම් දන්නේ නෑ..

      අපේ බලාපොටොත්තුවත් ඒකම තමා අයියා. මමත් හිතනවා අලුතින් එන අය වගකීමෙන් ඒ සම්ප‍ත් පරිහරය කරාවි කියලා..

      Delete
  5. තිස්ස අයියා කියපු දේ තමයි කියන්න තියෙන්නෙ.. දැං ඉතිං ඕකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න එක ළමයි අතේ තමා තියෙන්නේ.. ඒ කිව්වේ ඩෙස් බංකු ටික උස්සගෙන ගිහින් කාබාසිනියා කරලා නෙවෙයි.... ඉගෙන ගැනීමෙන්....

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං අපි නෑ නේ හිරුවෝ, අලුතෙන් එන අය දන්නෙත් නෑ අපි විඳපු දුක. මාත් ප්‍රාර්තනා කරනවා අලුතෙන් එන අය තමන්ට අදාල ඉගෙනීම විතරක් සිදු කරාවි කියලා..

      Delete
  6. කොහොම හරි වැඩේ කෙරිච්ච එක ලොකු දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න සතුටක් දැන්නෙන්නේ...

      Delete
  7. වැඩේ ගොඩ නේ.. !

    ReplyDelete
  8. පෝස්ටරේ ටික දවසයි නේ.. ඉතිරි වැඩ ටික ඉතිං හරිහට කර ගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. ඒක තමා වෙන්නෝන..

      Delete