Wednesday, October 26, 2011

අවධානමට පෙර සූදානම් වෙමු..

පි මේ ලෝකෙට ඉපදුන මුල් කාලේ ඒ කියන්නේ අපි පුංචි කාලේ අපිට අපේ වැඩ කිසි දෙයක් කරගන්න බැරි කාලේ අපේ වැඩ හැම දෙයක්ම කරලා දෙන්න වෙන කවුරු හරි ඉන්න ඕන.. ගොඩක් වෙලාවට අපේ අම්මා තමයි ඉතිං මේ හැම දේම කරලා දෙන්නේ.. කවන්නේ, පොවන්නේ ඒවා මේවා හැම දේම.. හැබැයි ඉතිං අද සමාජයේ ඉපදෙන බොහෝමයක් පොඩි අයට තමන්ගේ අම්මා ළඟ හැදෙන්න වැඩෙන්න වෙන්නේ නෑ.. මොකද මේ තරඟකාරී සමාජය තුල අම්මයි තාත්තයි දෙන්නම රැකියා වලට ගිහිං එන්නේ රෑ වෙලා නිසා බබා බලාගන්නේ බොහෝදුරට අම්මගේ අම්මා.. ඒ කියන්නේ ආච්චිඅම්මා.. එහෙම නැත්තං කවුරු හරි වෙනම යොදවලා තියනවා බබාව බලා ගන්න..

මුල්ම කාලේ ඇඳේ හාන්සි වෙලාම ඉන්න අපි ටික කාලයක් යද්දී ඇඳ උඩ ඉඳගන්න උත්සාහා කරනවා.. එකපාරක් දෙපාරක් වැටි වැටී, පෙරලි පෙරලී හරි හදන්නේ කොහොම හරි ඇඳ උඩ ඉඳගන්න.. ඔහොම යන්තන් වැනි වැනී ඇඳ උඩ ඉඳගෙන පුරුදු වුන දා ඉඳලා අපි ජීවිතයේ වැඩි කාලයක් ඉන්නේ කොතැනක හරි ඉඳගෙන..

ඉස්කෝලේ ගියාම, ටියුෂන් ගියාම, රස්සාවකට ගියාම ආදී අවස්ථාවල් වලදී බොහෝවිට ඉන්නේ පුටුවක් උඩ ඉඳගෙන.. ඒ වගේම යාළුවෝ එක්ක කොහේ හරි සෙට් වුනාම ඒ ඒ තැන ඉඳගන්න පුළු පුළුවන් විදියට ඉඳගන්නවා.. ඒ වගේ විවිධ විවිධ තැන් වලට ගියාම විවිධ විවිධ විදියට ඉඳගෙන ඉන්නවා.. ඒ කියන්නේ අපි ජීවිතයේ වැඩි කාලයක් කරන්නේ ඉඳගෙන ඉන්න එක..

අපේ බ්ලොග් කියවන ලියන අය බොහෝමයක් දෙනා රැකියා කරන අය වගේම ඒ අයගෙනුත් බොහෝමයක් දෙනා පරිගණකය ඉදිරියේ ඉඳගෙන ඉන්න අය වෙන්න ඕන.. අන්න එතකොට අපි දවසෙන් 3/4 ක්ම ඉන්නේ ඉඳගෙන.. එහෙම ඉඳගෙන ඉන්න නිසා අපි දැනගන්න ඕන කොහොමද පුටුවක හරියට ඉඳගන්නේ කියලා..

මුලින්ම කියන්න ඕන කාර්යාලයෙන් ඔබට ලැබී ඇති පුටුව ගැන මූලික අවධානය යොමු කරන්න ඕන කියලා.. ඔබට තියෙන්නේ මේවගේ (රූපසටහන 01) පුටවක් නම් මම අවධාරණයෙන්ම කියන්නේ ඒ පුටු වල ඉඳගන්න එක ශරීරයට සුදුසු නෑ කියලා.. ඒකට ප්‍රධාන හේතුව තමා මේ වගේ පුටු වල අපි හේත්තු වෙන කොටසේ තිබෙන හැඩය නිසා අපේ කොඳු ඇටපේලියට හානිවෙන්න පුළුවන් වීම.. මේ රූපසටහන (රූපසටහන 02) දිහා බැලුවම ඒක පැහැදිලි වේවි.. ඒ වගේම ඒ රූපසටහනට අනුව අපිට ඒ වගේ පුටුවක ඉඳගෙන අපේ රාජකාරී වැඩ කරන්න බැරි බවත් වැටහෙනවා ඇති නේද.. අපි පරගණකයක් ඉදිරියේ ඉඳගන්නවා නම් අනිවාර්යෙන්ම මේ ඉරියවුවෙන් (රූපසටහන 03) ඉඳගන්නම ඕන.. ඒක නිසා බොහෝ විට උත්සාහා කරන්න ආයතනයේ ප්‍රධානියා සමග කතා කරලා අපි හේත්තු වෙන කොටස කෙලින් තියෙන පුටුවක් ඉල්ලාගන්න.. (ජාලේ පුරා ඒ විදියේ පුටුවක් හෙවුවා හොයාගන්න බැරිවුනා..)

ඊළඟ කාරනේ තමා අපි නිවසේ දී ඉඳගෙන ඉන්න අවස්ථා වලදී පුළුවන් හැම විටම උත්සාහ කරන්න මේ විදියේ (රූපසටහන 04) පුටවක ඉඳගන්න.. ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගන ඉඳගන්න ඕන.. 

හැම වෙලාවෙම බැරි වුනත් පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්න කොන්ද කෙලින් තියාගෙන ඉඳගන්න..

අද මේ විදියට මම සටහනක් දාන්න හේතු වුනේ අයියට සිද්දවුන කොඳු ඇට පේලියේ අසනීප තත්ත්වයක් නිසා.. අයියට නම් හදිසියේ තමා අසනීපේ වෙලා තියෙන්නේ.. හැබැයි දොස්තරලා කියන්නේ නම් එක පාරට වුන දෙයක් නෙවෙයි කාලයක් තිස්සේ වුන දෙයක් එක පාරට දරුණුවට  සිද්ධ වෙලා කියලා..

අයියට වුන දේ කියනව නම් මෙහෙමයි වෙලා තියෙන්නේ..

සුපුරුදු පරිදි ඔෆිස් යන්න කලිං නාලා බාත්රූම් එකෙන් එළියට එන්න දොර අරිනකොටම කිඹුහුමක් ගිහිං තියෙනවා.. ඒත් එක්කම ඉනෙන් පහල ටික ලොක් වෙලා වගේ වෙලා.. කොහොම හරි හෙමීට හෙමීට ඇඳට ගිහිං ඒ වෙලාවේ ගෙදර හිටිය පුංචිට කතා කරලා ඒ වෙලාවේ ගෙදර තිබුන ෆාස්ටර්න් ජෙල් එක ගාවගෙන තියෙනවා කොඳු ඇට පේලිය දෙපැත්තේ.. කොහොම හරි ටික වෙලාවකින් කොන්දට දාන බෙල්ට් (රූපසටහන 05) එකක් ගෙන්නවාගෙන දාලා තමයි හොස්පිට්ල් එකට ගිහිං තියෙන්නේ..  මේ බෙල්ට් එකට කියන්නේ ලම්බ කෝර්සෙට් (lumbar corset) එක කියලා..

ගියපු ගමන් MRI ස්කෑන් එක කරලා තියෙනවා.. ඊට පස්සේ තමා දොස්තර කියලා තියෙන්නේ වෙලා තියෙන්නේ මොකක් ද කියලා..

වෙලා තියෙන්නේ මෙන්න මේකයි..

අපේ කොඳු ඇට පේළියේ තියෙන ඇට දෙකක් අතර කියෙනවා ජෙල් වලින් හැදුනු තට්ටුවක්.. මේ ජෙල් තට්ටු ටිකයි ඇට ටිකයි එල පේලියට තමා තියෙන්න ඕන.. ඒ මොකද කියනවා නම් අපේ කොඳු ඇට පේළියේ මැදින් තමයි අපේ සුෂුම්නාව ගිහිං තියෙන්නේ.. ඒ කියන්නේ සුෂුම්නාවට ආරක්ෂාව දෙන්න තමා කොඳු ඇට පේළිය සැකසිලා තියෙන්නේ..

මෙතනදී වෙලා තියෙන්නේ අර ජෙල් තට්ටු වලින් එකක් එහාට වෙලා.. එතකොට වෙන දේ ඉතිං මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. ඒ කියන්නේ එහෙම වුනාම සුෂුම්නාව තද (හිර) වෙනවා.. ඒක නිසා වෙන්නේ අපේ ස්නායු හරහා යන පණිවිඩ හරියට යන්නේ නැති නිසා අස්ථි වල ක්‍රියාකාරීත්ත්වය හරියට වෙන්නේ නැති එක.. ඒ කියන්නේ හිටගෙන ඉන්න බැරි වෙනවා.. 

කොහොම හරි අයියාගේ නම් ඕපරේෂන් එකක් කරලා අර ජෙල් එක තිබිය යුතු තැනට අරගෙන ඇවිත් තියෙනවා.. දවස් පහක් විතර හොස්පිට්ල් එකේ ඉඳලා ඉරිදා තමයි ටිකට් කැපුවේ.. දවස් හතරක් විතර තනියට හිටියේ මම.. (අන්තිම දවසේ සාටර් සීන් එකකුත් වුනා නේ.. :D) හැබැයි ඉතිං එක පාරට ඇවිදින්න බෑ.. පොඩි කාලේ අපි අර ඇවිදින්න පුරුදු වුන වෝකර් එක වගේ වෝකර් එකකින් (රූපසටහන 06) තමා දැනට ඇවිදින්නේ.. දොස්තර නම් කිවුවේ අඩුම තරමේ සති 8 ක් යනකන් වත් ඇඳේම ඉඳගෙන විවේක ගන්න කියලා.. හැබැයි ඉතිං ඊට වැඩිය ඉන්න පුළුවන් නම් හොඳයි කියලා කිවුවා..


ඔන්න ඕක තමයි මම අද මේ පෝස්ට් එක දාන්න හේතු වුන කාරනේ.. අවදානමට පෙර සූදානම හොඳ නිසා තමා මම පොඩි උපදේසයක් විදියට කිවුවේ මේක.. හැබැයි මේක ගැන වැඩි විස්තර නම් මම දන්නේ නෑ.. සමහර විට මෙතුමා නම් දන්නවා ඇති..

එහෙනම් කස්ටියම පොඩ්ඩක් හිතලා බලන්න මේක ගැන..

ප.ලි - ලිංක් ගොඩක් දැම්මේ කියවන කෙනාට අවබොධයක් ගන්න ලේසි වෙන්න..







රූපසටහන 01






රූපසටහන 02








රූපසටහන 03










රූපසටහන 04








රූපසටහන 05










රූපසටහන 06

23 comments:

  1. අම්මෝ... බයත් හිතුනා... මචන් ඔය ෆොටෝ ටිකත් පෝස්ට් එකේම පේන්න දැම්මනම් ලේසියි නේද....

    ReplyDelete
  2. හෆ්ෆේ මම ඉන්නෙම කොන්ද කෙලින් තියාන නෙමේ කොම්පිතරේ ඉස්සරහා.. අද ඉඳං වත් හරියට ඉන්න ඕන...

    ReplyDelete
  3. @පිස්සා - එහෙම වුනොත් පෝස්ට් එක අපැහැදිලි වෙය කියලා හිතං තමා බං මෙහෙම දැම්මේ..

    @හසී - දැං ඉඳල වත් හරියට ඉඳගන්න..

    ReplyDelete
  4. මාර සින් කිව්වලු

    මචන් සෝරෝ දාපන් මචන් ෆොටෝ ටික පොස්ට් එකේම

    ReplyDelete
  5. කාලයේ තාලයට ගැලපෙන වැදගත් පෝස්ටුවකි.

    ReplyDelete
  6. මටත් හිටපු ගමන් රිදිල්ලක් එනවා.දොස්තර කිව්වෙ ස්නායුවක් ඇදිලා කියලා.අනේ මන්දා....

    ReplyDelete
  7. @වැප් - මචං ඔන්න යටින් දැම්මා දැං හරිද බලපං..

    @තිස්සයියා - ඉස්තූතියි තිස්සයියා..

    @නිසුපා - මටත් යන්තන් වගේ තියෙනවා චෙක්කරගන්න ඕන මමත්. කෝකටත් ආයේ චෙක් කරලා බලන්න වෙන දොස්තර කෙනෙක්ගෙන්..

    ReplyDelete
  8. ඇත්තටම නම් අපි ඉඳ ගන්න විදිය වැරදී .. ට්‍රයි කරන්න ඕනි හරියට ඉඳ ගන්න.. නැත්නම් පස්සෙදි පසුතැවිල්ල තමයි මල්ලි කියන විදියට.. අයියාට ඉක්මන් සුවය පතනව !

    ReplyDelete
  9. අප්පෙ මම ෆිල්ම් බලනකොට පුටුවෙ ඉන්නෙ අංශක 10යි... බොහොම ස්තුති

    ReplyDelete
  10. @Weni - ඒක ඇත්ත වෙනි අයියා.. හරි විදියට ඉඳගන්නේ කීයෙන කී දෙනොද නේ ද..

    @ashen - ඔවු මචං මම වුනත් එහෙම තමා.. ඒත් ඉස්සරහට වෙනස් කරන්න ඕන..

    ReplyDelete
  11. පොටෝ ටික පෝස්ට් එකේ අදාල තැන් වලම තිබ්බානම් අපූරුයි!

    බය හිතෙනවා බං ඕව්වා දකිනකොට.......

    ReplyDelete
  12. දැං එතකොට උඹ කියන්නේ මේ පුටුව අයින් කරන්න කියලද? අපොයි..

    ReplyDelete
  13. @පූසා - එතකොට අපැහැදිලි වෙනවා බං පෝස්ට් එක..

    @..ChAnDiKa.. - උඹේ ජීවිතේට වඩා පුටුවට කැමති නම් තියං හිටපං... :D

    ReplyDelete
  14. රූප පෝස්ට් එකේ අවශ්‍ය තැන් වල දාන්න.. එතකොට පෝස්ට් එක කියවන්න තියෙන උනන්දුව වැඩි වෙනවා. වැදගත් ලිපියක්..

    ReplyDelete
  15. මාත් පුටුවේ හරියට වාඩි වෙලා හිටියටමොකක් හරි ඉන්ටරස්ටින් දෙයක් දැක්කම ඉබේ මොන්ද නවාගෙන මොනිටරේට එබෙනවා.

    ReplyDelete
  16. අඩේ මේක කියවලා ඉවර වුණාම තමයි කෙලීන් වුණේ . එතකම් මම හිටියේ මොනිටරේට එබීගෙන

    හෙට මේක ආයේ අමතක වේවිද මන්දා .

    ස්තූතියි මචං

    ReplyDelete
  17. බොලේ මේ කියනකම් මමත් උන්නේ සදරුවා වගේ මොනිටරේට එබී ගෙනනේ...

    ජය..

    ReplyDelete
  18. ඕකට කියන්නෙ Disc Prolapse කියලා...ඔය තත්වය ඇති උන මගේ යාලුවෙක් ඉන්නවා disc herniation උනාම... ඒක සෑහෙන තරුණු තත්වයක් ඔය ජෙල් ටික අයින් කලාට පස්සෙ නිතරම ඔය තත්වය ඇති වෙනවා....ආයේම ආයේම...අයියට කිසිම බර දෙයක් උස්සන්න දෙන්න එපා....

    ReplyDelete
  19. අම්මෝ.....බයෙත් බැ අප්පා....දැන් නම් මන් ඉන්නේ හරි විදියට...ඒත් කොන්දට අවුලක් නැති වුනාට බෙල්ලට නම් බුදු සරණයි....

    ඔය කශේරුකා අතර තියන අන්තර් කශේරුක මඩලේ කාටිලේජ වල එහා මෙහා වීමක් මටත් වුනා බාත්රුම් එකේ වැටිලා....අම්මෝ වින්ද දුකක් ඒ දවස් වල....හම්....

    ඉස්සරහට තව පරිස්සම් වෙන්න වෙයි....

    ReplyDelete
  20. හම්බෝ වැරදිලාවත් ඔහොම එකක් උනොත් බඩු හරිය. කොන්ද කෙලින් තියාහෙන තමයි මේ කමන්ට් එකනම් ටයිප් කරන්නෙ, හැබැයි කියවන්න පටන්ගන්නකොට නම් ඇද වෙලා හිටියෙ. කියවාගෙන යනකොට තමා කෙලින් උනේ.

    ReplyDelete
  21. සෝරෝව බලන්න ආපු මුල් දවසෙම කතා කරන්න උනේ ලෙඩක් ගැනනේ
    ඒකට මොකද කියවන්න වටිනා ලිපියක්,
    ෆොටෝ ටික බලන්න සැරින් සැරේ පහලට එන්න ගියාම බලන්න ටිකක් කරදරයි

    මටත් ඔය වගේ මොකක් හරි පුශ්නයක් තියෙනවද කොහෙද
    සමහර වෙලාවට එක පාරටම කොන්ද ඇතුලෙන් තද කැක්කුමක් එනවා
    MRI ස්කෑන් එකක් කරගන්න එන්න කියල දොස්තර මහත්තයෙක් වතාවක් කිව්වා
    තාම යන්න බැරි වුනා
    අදත් යනවා කියල හිතාගෙන කලින් ඕෆ් වෙලා ආවා, ඒත් බැරි වුනා
    අනිවා.. හෙටනම් යනවා

    ReplyDelete
  22. හොඳා හොඳා මේක ගැන කියපු එක අයියා නැත්නම් වයසට ගියාම කොන්දට තියලා පොල් පිති බඳින්න වෙනවා ෂුවර් :))

    ReplyDelete
  23. මගේ අප්පේ සෑමාට බ්ලොග් ලියන්න බය හිතෙනවා බොල. කොනදත් නැහැ බ්ලොගත් නැහැ..

    වැදගත් ලිපියක් !

    ReplyDelete