Tuesday, October 2, 2018

මෙකොන සිට අනිත් කොන කියැවීමි

ශක තුනක් විතර ලංකාවේ තිබුන සිවිල් යුද්දේ මේ වෙනකොට ගොඩක් අයට අමතක වුනත් ඒකට සම්බන්ධ වුන අයට නම් කවදාවත් එහෙම වෙන එකක් නෑ. ඒ ඔවුන් කෙලින්ම ඒකට මූණ දුන් නිසා. හැමෝම නැති වුනත් වෛද්‍යවරු කියන්නෙත් එක්තරා විදියකට යුධ සෙබළු වගේ කොටසක්. මොකද ඔවුන් උත්සාහ කරන්නෙත් සේවය ලබාගන්න එන අහිංසක ජනතාවට තමංගේ උපරිමය කරන්න.

මේ අතරින් උතුරු නැගෙනහිර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් විශේෂයි. යුද්දෙන් පස්සේ ඒ පලාත් වල ජනතාව ජීවත් වෙන්න දරණ උත්සාහය ඔවුන් දකින නිසා. ඒ වගේම ඒ පලාත් වල ජනතාව ජීවත් වෙන්නේ යුධ මානසිකත්වයෙන් නිසා ඒ පලාත් වල සේවය කරන එකත් මම දකින විදියට නම් ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. 

https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/10649946_631638066934302_7593727451554103616_n.jpg?_nc_cat=107&oh=4641ab6bff5d50b894419e384914912b&oe=5C2543BB


යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර සේවයට ගියපු "වෛද්‍ය බෝධිනී සමරතුංග" එහෙමත් නැත්තං අපි දන්න විදියට "බෝ" එම රෝහලේ සේවය කල කාලය තුල දී මූණ දුන්න අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියපු "අනිත් කොන" කියන්නේ ඇත්තටම අනිත් කොනේ ඉන්න අපේම ජනතාව ගැන අපේ හිත් වල තියෙන කහට නැති කරලා ඔවුන් ගැන සහෝදරාත්මකව බලන්න අපිව යොමු කරන පොතක් කිවුවොත් වැරදි නැහැ.

ඉතාමත් හෘදයාංගම විදියට ලියලා තියෙන මේ පොතට "බෝ" ගේ කවි හිත යට සැඟවිලා තියෙන රචකයා එලියට ගන්න පුළුවන් වෙලා තියෙනවා. පොත අරගන අවුරුදු දෙකක් විතර වුනත් කියෙවුවේ නැතුව තියාගෙන හිටියේ යුද්ධය ගැන ලියපු පොත් කියවන්න මම ටිකක් කම්මැලි නිසා. ඒ වුනත් කියවන්න පටන් ගත්තයින් පස්සේ දවස් දෙකෙන් කියවලා ඉවර කරන්න පුළුවන් වුනේ ලියලා තියෙන භාෂා විලාසය නිසා. සරලව ලියලා තියෙන පොත කියෙවුවොත් "කවියට පෙම් බැඳි" බෝගේ කවියට පෙම් බැඳි තරමටම ඔබත් ඒ ලියැවීමේ රටාවටත් පෙම් බඳිවී.

යුද්ධයෙන් හෙම්බත් වුන උතුරු නැගෙනහිර ජනතාව තමන්ගේ ජීවිතේ ගොඩ නගාගන්න දරන උත්සාහය අතරතුරදී ලෙඩක් දුකක් හැදුනම ඇතිවෙන්නේ මොන වගේ පීඩනයක් ද කියලා කතුවරියට දැනුන විදියට ලියලා තියෙන නිසා පාඨකයා ද ඒ ආකාරයටම සංවේදී වන නිසා සාර්ථක පොතක් කියලා කියන්න පුළුවන්.

වෛද්‍යවරයෙක් වුන ගමන්ම අනිත් කොන රාජකාරී සඳහා ගොස් එකොන සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දාන්න වෙහෙසෙන මේ වගේ වෛද්‍යවරු අද වෙනකොට සීමිත වුනත් තමන්ට ලැබුන මුල්ම පත්වීම අභියෝගයක් විදියට භාරගෙන එම අභියෝගය ද ජයගෙන එකොන ජනතාවගේ ද සිත් දිනාගැනීමට පමණක් නොව පාඨකයාගේ හිත් පවා දිනා ගැනීමට මෙතුමිය සමත් වෙලා තියෙනවා.

ශාරීරීකව කිසිම රෝගයක් නොමැති වුනත් යුදධය නිසා ඇතිවෙන ඇතැම් මානසික රෝගාබාධයන් පවා හඳුනාගෙන ඉතාමත් සාර්ථක ලෙස ඒ සඳහා ප්‍රථිකාර කිරීම තුලින් රෝගීන් නිරෝගීන් කිරීම සඳහා මෙතුමිය ගන්නා ලද උත්සාහය ඉතාමත් ඉහලයි. වෛද්‍ය දැණුමින් පමණක් නොව ධනාත්මක ආකල්ප වලින්  ද පොහොසත් මෙතුමිය අප හැම දෙනාටම ආදර්ශයක්.

3 comments:

  1. Thank u malli මේ කියැවීම මට බොහෝ වටිනවා. මා ශිෂ්‍ය අවධියේ සිට ලියන්නට පටන් ගත් කාලේ පටන් ඔබ මා කියවමින් සිටි කෙනෙක් පොත රැගෙන කියවා ඒ ගැන ලියන්නට තරම් ඔබේ නිහතමානී ඇගයීමට මා ඉතා ස්තුතිවන්ත වෙමි..මේ සටහනට මම බොහෝ සෙයින් ප්‍රේම කරමි. ස්තූතියි සෝරෝ.... බ්ලොග් එකේ ලීවට සහ ආයෙත් ලියන එකට !

    ReplyDelete
  2. බොහොම වටිනා රිවිව් එකක් , පොත අරගෙන කියවන්න හිතෙන තරමටම.

    තෝ අවුරුද්දකට හමාරකට් පස්සේ ආපහු බ්ලොගිය ඇරපු එකත් ඒ වගේම වටිනවා..

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete