Saturday, December 25, 2010

මහා ව්‍යවසනය හා මම..

සෑහෙන්න කාලෙකින් මේ පැත්තට ආවා ඔන්න..
අද (දෙසැම්බර් 25) විශේෂ දවසක් නේද..? ඒ කියන්නේ අද නත්තල් සමරන දවස.. හැබැයි මට නම් නත්තල් නෑ..

ඒ වුනත් නත්තල් සමරන මගේ හිතමිතුරු බ්ලොග් සහෘදයින්ටත් ලෝක වාසී කිතුණු බැතිමතුන්ට සුභම සූභ නත්තලක් වේවා කියලා මුලින්ම ප්‍රාරථනා කරනවා..


අද (දෙසැම්බර් 25) වගේම හෙටත් (දෙසැම්බර් 26) අපේ රට ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට ඉතාමත් සුවිශේෂි දවසක්.. සුවිශේෂී දවසක් වුන​නාට ඉතිං ශෝකජනක දිනයක්..


කස්ටියට මතක ඇතිනේ මීට අවුරුදු 06 කට කලින් වුන සිද්ධිය.. අම්මෝ මට නම් අමතක වෙන්නේ නෑ ඒ සිද්ධිය..


මේ කරදරේ වුනේ 2004 නේ.. ඒ වෙනකොට මම 2005 අවුරුද්දේ උසස් පෙළ විභාගේ කරන්න පන දාගෙන පාඩම් කරන කාලේ.. මම ඉන්නේ තංගල්ලේ කියලා ගොඩ දෙනෙක් දන්නවා ඇති නේ.. නොදන්න අයත් ඉතිං දැනගන්න එහෙනම් මම තංගල්ලේ කියලා.. :D


එදා උදේත් මම පාඩම් කර කර හිටියේ.. වෙලාව මතක හැටියට 9.25 විතර ඇති.. එකපාර​ටම පාර පැත්තෙන් සද්දයක් ආවා වාහන ​පෝළිමට හෝන් කර කර යනවා.. පෙරහැරක් යනවා ඈති කියලා හිතා ගෙන ඒක බලන්න, පොතත් පැත්තකින් තියලා ගියා පාර පැත්තට..


පෝළිමට වාහන ලයිට් දාගෙන හොන් කර කර යනවා පෙරහැරක් නම් පේන තෙක් මානයක වත් නෑ.. ඔහොම බලන් ඉන්නකොට ත්‍රීවීලර් එකක අයියා කෙනෙක් නවත්තලා කිවුවා ඔන්න මල්ලී  මූද ගොඩගලනවා දුවපං කියලා..


මේක ඇහුව ගමන් මාව අඤ්ඤකොරොස් වෙලා ගියා..













කාවන්තිස්ස රජතුමාගේ කාලේ මෙහෙම එකක් වුනා කියලා පොත් වලින් දැනගෙන තිබුනට හීනෙකින්වත් හිතපු දෙයක්ද මේ..

ඔනි දෙයක් වෙච්චාවේ කියලා ටවුන් එක පැත්තට යන්න ඕනි කියලා හිතාගෙන එළියට බහින්න හදනකොටම කෑ ගහන්න ගත්තේ නැතෑ අම්මා "උඹට පිස්සුද, මිනිස්සු ටවුන් එකෙන් අයින් වෙනවා, උඹ ඒක අස්සට යනවා" කියලා හරි හරි අම්මේ පොඩඩක් බලලා එන්නම් කියලා අමාරුනේ අවසරේ අරන්, තව යාළුවෙක් එක්ක ගියා ටවුන් එක පැත්ත​ට..

හුටා.... ඒ ගියාම නේ දැක්කේ වෙලා තියෙන දේ.. ටවුන් එක පිරිලා වතුර වලින්.. 


 




ඒත් අපි දෙන්නට එච්චරම ගානක් නෑ වෙලා තියෙන දේ ගැන.. ඒ වෙනකොට වතුරපාර බැහැලා ගිහින් මම අඩි 16 ක් විතර උස​ට ආවා කියලා කියන්න වගේ ඔරලෝසු කණුවේ වතුරපාරේ උස සටහන් වෙලා තිබුනා..
කඩ ඈතුලේ තිබුනු බඩු සී සී කඩ විසි වෙලා.. ඒ මදිවට එදා පොල දවසක් පොලට ආපු අත් ට්‍රැක්ටර්, ත්‍රීවීලර්, කැන්ටර් හැමතැනම විසිරිලා.. ඒ වාහන අස්සේ හිටි මිනිස්සු කීපදෙනෙක් එළියට ගන්නත් පොඩි සපෝට් එකක් දුන්නා.. අරන් බලද්දී ඒ ඔක්කෝම අහ මැරිලා..

ඔන්න දැන් ගේ හිතට පොඩ්ඩ පොඩ්ඩ බය එන්න අරගෙන.. මගෙත් එක්ක ගිය අනිත් එකාට එපා කියද්දී ඌ ගියා වතුරට බැහැලා..






 

එනපොට හරියන්නේ නැති නිසා මම ගෙදර එන්න ආවා.. ඈවිත් අම්මගෙන් පොඩ්ඩක වෙන් බැනුමුත් අහන්න සිද්ධවුනා ටවුන් එකේ දැක්ක​ දේවල් කිවුවම.. රැළි දෙකක් ම ඇවිත් ගිහින් තිබුනත් අපේ ගෙදරට හානියක් වුනේ නෑ.... හැබැයි අපේ ගේ පිටිපස්සෙන් කළපුවට ළඟ නිසා වතුර පාර පේනතෙක් මානයට වගේ ඇවිත් තිබුනා.. බැරි වෙලාවත් තුන්වෙනි රැළ්ලත් ආවනම් සමහර විට මෙක කියන්න මම නොඉඳින්න තිබුනා.. :D

එයින් මෙයින් එදා රෑ ගෙර ඉන්නත් බයයි.. වැරදිලාවත් තව රැල්ලක් ආවෙත් එහෙම මොන දෙයියන්ට කියන්නද.. අනිත් එක මහ රෑ නේ.. කෝකටත් සූදානම් සරීරේ හොඳයි කියනවනේ.. ඒක නිසා අපි ගියා පුංචිඅම්මලාගේ ගෙදර..

අපේ හරියේ ගොඩ දෙනෙක් හිටියේ නෑ එදා රෑ.. හැබැයි ඒ අතරින් පන්ඩිත පොරවල් නොහිටියෙමත් නෑ.. එයාලගේ වෙලාවේ හොඳකමට රෑ අවේ නෑ රැල්ලක්.. ආවනම් ඉතිං ඈපත් නෑ.. :D ඇයි ඉතිං මුල්රැළි දෙක ඇවිත් පාර සුද්ද කරලා තිබුන නිසා ​ඊළඟඑන එකට වැඩි අපහසුවත් නැතුව ගොඩක් දුර එන්න පුළුවන් නිසා..

පහුවෙනිදා උදේ පාන්දරම මම තාත්තත් එකක ඈවිත් තත්ත්වේ හොඳ නිසා අම්මයි මල්ලිලා දෙන්නයිත් ගෙන්නවාගත්තා..

ඔන්න ඔහොමයි අවුරුදු 06කට පෙර සිද්ධවුන මහා ව්‍යවසනයට මම මුහුණ දුන්නේ....

4 comments:

  1. අපොයි ඒ වගේ දෙයක් නන් ආයි කොහොමවත් නොවෙනවනන් හොදයි...

    සොරෝ ලොක්කටත් එහෙනන් මල් මල් නත්තලක් වේවා :D

    ReplyDelete
  2. ඒ වගේ දෙයක් නන් ආයි කොහොමවත් නොවෙනවනන් හොදයි...සුභ නත්තලක් සොරෝ

    ReplyDelete
  3. සුභ නත්තලක්.. :) :)

    සුනාමි,,අමතකම වෙන්නේ නැති සිදුවීම නම් ගොඩයි එදා..ආයේ එහෙම දවසක් නො ඒවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. මිත්‍රයා ලස්සනට මේ සිද්ධියෙදි වුන දේවල් හා අපේ මිනිස්සු කරන පණ්ඩික වැඩ ගැනත් පොඩි ඊඟි ටිකක් දීලා තිබුනා
    ස්තුතියි ලස්සන වැඩේට!
    ආයේ නම් සුනාමි නොඒවා

    ReplyDelete