Friday, May 31, 2013

වැස්සට පෙම් බැඳි ගී...

දේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.


වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.

වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.

මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"



දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්‍ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.



තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේ ‍ගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.



ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.

video


ඊළඟ ගීතය ගායනා කරන්නේ "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා. ඒ තමා "මිණි මිණි පොද වැටේවි" කියන ගීතය. මේ ගීතයේ පද රචනාව "රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්" වන අතර සංගීතය "කරුණාරත්න විජේවර්ධනයන්ගෙන්"


අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.


වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.

Tuesday, May 21, 2013

පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ...

යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා නිරායාසයෙන්ම යොමුවන්නේ 70, 80 සහ 90 දශකයන්ගේ ‍ගීතයන් කෙරෙහි ය. එම ගීතයන් වල ඇති අර්ථාන්විත භාවය සහ ළබැඳි සංගීතය නිසා අපගේ මනස ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වනු ඇත.

එබඳු ළයාන්විත ගීත කොතැනදී ඇසුවත් මතකයේ රැ‍ඳෙන්නේ ඇතැම් විට අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට එම ගීතයන්හී යම් සම්භන්ධතාවක් ඇති නිසා යැයි විටෙක සිතෙන අතර, ඇතැම් ගීත කොතරම් ශ්‍රවණය කල ද තවත් වරක් හෝ ශ්‍රවණය කිරීමට සිතේ.

පුරුද්දක් ලෙස, රාත්‍රි නින්ද සඳහා ඇඳට ගොස් ප්‍රථමයෙන් සිදු කරනුයේ ජංගම දුරකථනය ගෙන එහි කන් බනුව (Ear Phone) සම්භන්ධ කර දුරකථනයෙන් ගුවන්විදුළියට සවන් දීමයි. මා සවන් දෙනු ලබන්නේ රන් එෆ්.එම්., සිටි එෆ්.එම්., ලක්හඬ සහ ලක් එෆ්.එම් වැනි ගුවන්විදුළි නාළිකාවන්ට ය.බොහෝවිට මා නින්දට යන්නේ රාත්‍රී 8.00 - 10.00 අතර තුර කාලයේ නිසා එම වෙලාන්ට ගුවන්ගත වන වැඩසටහන් වලට සවන්දීමට මා ප්‍රියතාවයක් දක්වනු ලැබේ.


රන් එෆ්.එම්. - රුවන් සඳැල්ල, සිටි එෆ්.එම්. - ආරාධනා, ලක්හඬ - ප්‍රේම තටාකය හා ලක් එෆ්.එම්. - ප්‍රේමණීය රාත්‍රිය මේ වෙලාවන්හිදී ගුවන්ගත වන වැඩසටහන් වේ. මෙම වැඩසටහන් අතුරින් රන් එෆ්.එම්. හි රුවන් සඳැල්ලට මා බොහෝ ඇලුම් කරන්නේ එහි වැඩසටහන ඉදිරිපත් කරන  පුද්ගලයාගේ කෙටි විචාරයන්ට ඇති කැමැත්ත යැයි කිවුහොත් එහි වරදක් නොවේ. මන්ද ඔහු ඇතැම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරන ඉතා කෙටි කතාවන් ඉතාමත් අලංකාර බව වරක් හෝ මෙම වැඩසටහන ඇසූ අයෙක් දන්නා අතර නොඇසූ කෙනෙකුට මා ඇරයුම් කර සිටින්නේ වරක් හෝ එය ශ්‍රවණය කරන මෙන් ය.

මේ අතර තුර දහවල් කාලයේදී මා ඇතැම් විට යූටියුබය හරහා පැරණි, එතරම් ප්‍රචාරය නොවන ගීත ශ්‍රවණය කරන අතර ඇතැම් බ්ලොග් අඩවි වල ඇති ගීත ද බොහෝ විට ශ්‍රවණය කරන්නේ ඒවායේ ඇති රමණීය බව නිසා ය.

මෙසේ අද දින බ්ලොග් කියවද්දී ඇස ගැටුනු එක්තරා බ්ලොග් අඩවියක තිබූ ගීතයකට මාගේ සිත ඇදී ගිය අතර එහි ලියා තිබූ කෙටි විචාරය ද ඉතා අනර්ඝ එකක් ලෙස දැක්විය හැකිය. මේ ගීතය කොතරම් මගේ සිතට  ඇතුල් වුනාදැයි කිවහොත් ඇතැම් විටෙක මා සිතට නැඟුනේ මේ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව දෝ කියා ය. ඒ තරමට ඒ ගීතයට මා ප්‍රිය කරන්නට විය. එය දුටු මොහොතේ පටන් කිහිප වතාවක්ම එය ශ්‍රවණය කල අතර කොතරම් වාර ගණනාවක් එය ශ්‍රවණය කලාදැයි මා සිහියට නොනැ‍ඟේ. මේ මොහොතේ ද ශ්‍රවණය කරමින් සිටී.

එම බ්ලොග් අඩවියට යන මාර්ගය මෙසේ වේ [200]දයාබර මාලතී

එම ගීතයේ පද මාලාව නම්....

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා 
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත 
දෙදරුවන් ලඟ නිවන සරතැස 
කාලයේ වැලිතලාවේ 
සබඳකම් සැඟවුනාවේ..

අතරමග සුණු විසුණු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ...



Friday, May 17, 2013

ආර්යාට පෙම් බඳිමින් යකඩ සිහසුනේ අරගලය බැලීම..

කඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිට යකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක් ‍පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.


කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින්  නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස්  නැතහොත් කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර් නැතහොත් කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්ව ටයිවින් වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ

තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන ‍ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.

අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.


---
ප.ලි.
උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :D


















ප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න...

Friday, May 10, 2013

කල්පනා ලොව මල්වනේ සිහින රජ දහනේ...


ම ඉස්සර ඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනා ලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනා කළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්න ඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්. 

පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙ යන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස් කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම් සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්ක එහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත් ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං.

එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ල‍ගේ උපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපි තුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාට තාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි ආදරය කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක් හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලු ලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත් සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්, අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහර වෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාද කියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන් තමා හිටියේ. පනින් පෙර හිතා‍ බැලුවෙම නෑ ඒ කාලෙ නම්. 

ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොට ආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝ ගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත, කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝ ගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනා වෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑ නේද කියලා... :D

ඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මක අවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන් වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණ වගේ නානාප්‍රකාර දේවල්.

සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්න ගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාව නැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේ ඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තං එතනින් මේ ලෝකේ නවතිනවා.

සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙන ඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙන නැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරි කලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ....